Wednesday, February 22, 2012

රු. ලක්ෂ පහක් ෆ්‍රී-ලාන්සින් හරහා සෙවීමට උර දුන් PHP+MySql

ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මිළට ගැනීමට $50ක් සොයා ගැනීමේ අරමුණින් ෆ්‍රී-ලාන්සින් වෙත යොමුවීම මේ වන විට ඩොලර් 4590 ක් උපයා ගැනීම දක්වා විහිද ගියා යැයි කීවොත් සමහර විට ඔබ විශ්වාස නොකරාවි. පහතින් දක්වා තිබෙන්නේ මේ මුදල් ලංකාවේ බැංකුවකට ගෙන්න ගන්න උපකාර වුන moneybookers කියන ආයතනයෙන් ලබාදෙන සාරාංශයක්. එහි එකතුව $ 4210ක්, ඩොලරයක් රු. 109/= සේ සලකා බැලුවත් $4210ක් කියන්නේ රු. 463,100/=. මීට අමතරව Dell Streak 5 Android Tablet එකක් සහ,  මීට ඉහතදී ලිපියක් මගින් විස්තර කරපු Syma s32g හෙලිකොප්ටරේ ගන්න පේපෑල් වෙත ෆ්‍රීලාන්ස්  හරහා ලබාගත්ත ඩොලර් 380 එකතු වුනාම ෆීලාන්සිං වලින් හොයපු සම්පූර්ණ $$ ප්‍රමාණය ඩොලර් 4580ක්,  ලංකාවේ මුදලින් නම් රු 500310/= ක්. මේ මුදල ලබාගන්න මාස 08ක් පමණ ගතවුනත් මම ෆ්‍රී-ලාන්සින් වැඩ සදහා ගතකලේ සතියකට දින 03ක් පමණ, එයත් රාත්‍රී කාලයේ දිනකට පැය 4ක් පමණ. ඉතින් මේ විස්තරේ ඵලකලේ ෆ්‍රීලාන්සින් වෙත යොමුවීමට ආසාවෙන් සිටින අය සහ මෙවැනි දේවල් වංචා සහගතයි යන හැගීමෙන් සිටින අයගේ සිත් ධෛර්යයමත් කරන්නයි.

Moneybookers Summary
මේ මුදල් උපයාගත්තේ කුමන ආකාරයේ freelance project හරහාද යන්නත් මා විස්තර කරන්නම්. මා නිමකල ව්‍යාපෘති බොහෝමයක්ම PHP සහ MySql යන කාණ්ඩයට අයත්. මූලික වශයෙන්ම අන්තර්ජාලය ඔස්සේ දත්ත ගබඩාවකට දත්ත එකතුකිරීමට මෙන්ම ඒ දත්ත ආධාරයෙන් යම් වාර්ථාවක් ලබා ගත හැකි ආකාරයේ හෙවත් Web Application කියන කාණ්ඩයට අයත් ව්‍යාපෘති. Freelance Project එකකින් ලැබෙන අඩුම මුදල $30ක් වුවත් $750ක් මිළ නියම වූ Project 02ක් සහ $500 Project එකකුත් යම් යම් අවස්ථාවන්හීදි මා වෙත ලබාගත හැකි වූවා. 

php + mySql programming ඉගෙනගත්තේ කෙදිනක හෝ freelance සදහා උපකාරී වේයැයි සිතා නොව වෙබ් පිටුවක් තුළ දත්ත හසුරුවන්නට php ඉතා පහසුවෙන් යොදා ගත හැකි වීම හේතුවෙන්. බ්ලොගයට සේම ෆෝරමයට එක එක් අංගෝපාංග එක් කිරීමේදී බොහෝ විට සහය වූයේ php සහ mysql. 100%ක්ම අන්තර්ජාලය ඔස්සේම php+mysql ඉගෙන ගත්තා යැයි කිවොත් එය සම්පූර්ණයෙන්ම නිවැරදියි. VB, Java වැනි භාෂාවන් විටින් විට අන්තර්ජාලය හරහාම ප්‍රගුණ කළත් මේ කිසිදු භාෂාවක් අන්තර්ජාලය හරහා හැදෑරීමට පෙර ඒ ඒ භාෂාවන්ට අදාලව කිසිදු න්‍යායාත්මක කරුණක් සම්බන්ධයෙන් මා දැනුවත්ව සිටියේ නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගත් ජාවා  project එකක් නිවැරදිව compile කර ජංගම දුරකථනයකට දමා ගැනීම සදහා මාස ගණනාවක් ගත වූවා. Net-Beans, Eclipse වැනි මෘදුකාංගයන් ස්ථාපනය කලත් ඒවා නිවැරදිව හසුරුවන්නට දවස් ගණන් උත්සාහ කළා යැයි කීවොත් වඩාත් නිවැරදියි. මාස ගණනාවක් ගත කර අදාල project එක නිවැරදිව compile කර ජංගම දුරකථනයට දමාගත් පසුවත් යම් යම් දෝෂ (Bugs) මතුවන්නට වූවා. නමුත් ඒවාත් එකින් එක විසදා ගෙන අදාල application එක නිවැරදිව ක්‍රියාත්මක වෙද්දී Java වලට අදාල න්‍යායාත්මක කරුණු බොහොමයක් ප්‍රගුණ කර අවසන්.

බ්ලොග් ලිපි වශයෙන් ඉදිරිපත් කළ GPS Tracker Application එක සහ SMS Server Application එක ඉන් සමහරක්. විනෝදාංශයක් ලෙස හැදෑරුවත් PHP, Java වැනි භාෂාවන්ට අදාලව දේශීයව මෙන්ම අන්තර්ජාතිකවත් හොද මිළක් නියම වී තිබෙනවා. මෙවැනි භාෂාවක් ඉගෙනගැනීම සදහා ඔබ තුළත් යම් ආශාවක් තිබෙනවා නම් ඒ ආශාව ඔස්සේ ඉදිරියට යන්න. මෙවැනි භාෂාවක් අනතර්ජාලය ඔස්සේ ඉගෙනීමට භාවිතා කළ හැකි W3schools නම් අඩවිය වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම අන්තර්ජාල පාසලක්. දවසකින් දෙකකින් නොවුනත් මාස කිහිපයකින් හෝ ඔබ යම් භාෂාවක් (Programming Language) ප්‍රගුන කරාවි. මේ සදහා කිසිදු මූලික සුදුසුකමක් අව්ශ්‍ය වන්නේ නැහැ.උනන්දුව සහ උත්සාහය පමණක් ප්‍රමාණවත්!!

Friday, December 23, 2011

අඩු මුදලට ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් - Huawei Ideos S7

සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පෝස්ට් එකක් ඉදිරිපත් කරන්න කාල වෙලාවක් හොයාගත්තා. ඒත් ඉතින් මේ කියන්න යන්නේ ඉලෙක්ට්‍රොනික් පරිපථයක් ගැන නම් නෙවෙයි. නමුත් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය අන්තර්ගත වුන ජංගම දුරකථන කාණ්ඩයෙනුත් ඔබ්බට ගිය ටැබ්ලට් එකක් ගැනයි අද මා සාකච්චා කරන්නේ. ජංගම දුරකථනයක් වගේම ජී.පී.එස් උපාංගයකුත් අන්තර්ගත ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිථ කර ඇති සාමාන්‍ය ව්‍යවහාරයේදී "ටැබ්" එකක් යනුවෙන් හැදින්වෙන Smart Phone කාන්ඩයට අයත් Tablet ගැන අප බොහෝ දෙනෙක් දැනුවත්ව සිටියත් අධික මිළ ගණන් හේතුවෙන් මෙවැන්නක් ලබා ගැනීම කෙරෙහි අප උනන්දු වන්නේ නැතැයි කීම එක්තරා දුරකට සත්‍යයක්. එනමුත් සන්නිවේදන උපාංග නිපදවන චීන සමාගමක් වන "හුවාවි" ආයතනය මගින් ඉදිරිපත් කර තිබෙන Ideos S7 කාණ්ඩයේ ටැබ්ලට් එකක් රු. 20,000/= කට ආසන්න මුදලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.


පායෝගික ක්‍රියාකරකමක් වෙනුවෙන් ජී.පී.එස් පහසුකම සහ අන්තර්ජාල සම්බන්ධතාවය එකවර ලබා ගත හැකි උපාංග කිහිපයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් හේතුවෙනුයි ටැබ්ලට් උපාංගයක් වෙත අප යොමු වූයේ. මෙහිදී ප්‍රමුඛ වෙළද නාමයන් යටතේ දක්නට ලැබෙන Samsung Galaxy S, Apple Ipad සහ Dell Streak 7 වැනි උපාංගයක් ලබා ගැනීම කෙරෙහි උනන්දු වූවත් රු. 70,000/= පමණ වන අධික මිළ ගණන් හේතුවෙනුයි ආදේශකයක් ලෙස හුවාවි ආයතනය මගින් නිපදවන Ideos S7 105 ටැබ් එක වෙත යොමුවූයේ. අධිල හිරු රශ්මිය සහ දූවිලි සහිත සුළං වැනි කාල ගුණ තත්වයන් යටතේ මෙවැනි උපාංග කිහිපයක්ම මාසයකට ආසන්න කාලයක් අපගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම සදහා යොදාගනු ලැබුවා. අප මුහුණදුන් එකම සහ ප්‍රධානතම ගැටළුව වූයේ එක දිගට අන්තර්ජාලය සහ ජී.පී.එස් උපාංගය භාවිතා කිරීමේදී විනාඩි 90කට හෝ ආසන්න කාලයකදී මෙම උපාංගයේ බැටරි බලය ශුන්‍ය වී යාමයි. ජී.පී.එස් උපාංගයක් ක්‍රියාත්මක කිරීමේදී මෙවැනි තත්වයක් උද්ගත වීම සාමන්‍ය සංසිද්දියක් නිසා එයින් පසුබට නොවී එක් උපකරණයක් වෙනුවෙන් අමතර බැටරි 02ක බැගින් ලබා ගැනීමටත් අප තීරණය කළා. ඒ හැරෙන්නට මෙම උපකරණ ක්‍රියාත්මක කිරීමේදී වෙනත් කිසිදු ගැටලුවක් මතු වූයේ නම් නැහැ.

කෙසේ වෙතත් මෙම උපකරණය පාවිච්චි කළ කාල සීමාව මසකට අඩු හෙයින් මෙහි කල්පැවැත්ම සම්බන්ධව නම් වැඩි දුරටත් විස්තර පැවසීම කාලෝචිත නොවන නමුත් එක් අවුරුදු වගකීම් සහතිකයක් සහිතව මෙම උපාංගය ලබාගත හැකි නිසා උපකරණයේ ක්‍රියාකාරීවය සම්බන්ධයෙන් ගැටළුවක් පැණ නොනගිනු ඇතැයි විශ්වාශ කරනවා. ගූගල් ආයතන මගින් නොමිළයේ ලබාදෙන Android ජංගම මෙහෙයුම් පද්ධතිය මෙහි ස්ථාපනය කර තිබීම හේතුවෙන් භාවිතා කරන්නාට රිසිසේ තමන්ට කැමති මෘදුකාංගයක් ස්ථාපිත කර ගැනීමේ පහසුකමද නිතැතින්ම හිමි වනවා. මෙම උපකරණය ලබා ගත්තේ ගූගෝලීය කටයුතු අධ්‍යයනය කිරීමේ අරමුණින් වුවත් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය හා සම්බන්ධ විවිධාකාර මෘදුකාංග ඇන්ට්‍රොයිඩ් වෙළදපොලෙහි නොමිළයේ දක්නට ලැබෙනවා. තමන් සම්බන්ධ වී සිටින ජංගම දුරකථන කුළුණ හා සම්බන්ධ වැඩිදුර විස්තර ලබා ගත හැකි RF Signal Tracker මෘදුකාංගය උදාහරණයක් ලෙස දැක්විය හැකියි. මෙමගින් තමන් අවට ඇති ජංගම දුරකථන කුළුණු සහ අප සම්බන්ධ වී ඇති දුරකථන කුළුණ මගින් අප වෙත ලැබෙන සංඤාවේ ප්‍රභලතාව ඩෙසිබල් අගයක් ලෙසින් සේම අදාල දුරකථන කුළුනෙහි Cell ID, LAC, MCC, MNC, RSSI වැනි තොරතුරුද ලබාගත හැකි වනවා.

නව තාක්ෂණයේ අත්දැකීම් ලබන්නට මූල්‍ය තත්වය ප්‍රශ්ණයක්ව ඇති යුගයක, දැරිය හැකි මුදලකට මෙවැන්නක් ලබා ගැනීමේ හැකියාව ඇති බව දැනුම්දීමටයි ඉතා කෙටි සටහනක් මෙම උපකරණය වෙනුවෙන් තබන්නට සිත්වූයේ. ඉන්දියානු රජය මගින් දේශීයව නිපදවනු ලැබූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත මේ හා සමාන “Aakash” ටැබ් එකක් $35 වැනි මුදලකට එරට විශ්වවිද්‍යාල සිසුන්ට සහ තාක්ෂණික ආයතන සිසුන්ට ලබා දීමට පියවර ගෙන ඇතිබවත් සදහන් කළ යුතුයි.

ලබන්නාවූ නත්තල ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් වටා එක් රොක්ව සිටින ඔබ සැමටත් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටත් ලෝක වාසී සැමටත් "සුභ නත්තලක්" වේවායි මෙසේ ආසිරි ගෙන එන්නෙමු!!!

Thursday, November 10, 2011

අපි නොදන්න ඉංගිරිසි!! අපි නොදන්න Java, PHP, MySql සහ තව බොහෝ දේ...

මේ දවස් වල ඉංග්‍රීසිය ගැන බ්ලොග් පෝස්ට් වැඩි වැඩියෙන් ලියවෙන නිසාම ඉංග්‍රීසිය ගැන ලිපියක් සනිටුහන් කරන්නට සිත්වූවා. "ඉංග්‍රීසි භාෂාව හා තාක්ෂණය අතර සම්බන්ධය අවම කරමු" යනුවෙන් මෙම මාතෘකාව ගැන වෙනත් අයුරකින් මීට පෙරද මෙම බ්ලොග් අඩවිය ඔස්සේම ලිපියක් ඉදිරිපත් කර ඇති අතරම මෙම ලිපියේ අරමුණ, විදේශිකයන් සමග අදහස් හුවමාරු කර ගැනීමේදී අප කියන්නට යන දෙය ඉතා සුළුවෙන් හෝ ඔවුන්ට තේරුම් යන්නේ නම් ඊට ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් මැළි නොවන බව ඒත්තු ගැන්වීමයි. පාසල් කාලය අතරතුර ඉංග්‍රීසි ඉගෙනගැනීම සම්බන්ධයෙන් මා එතරම් ඇළුම් නොකලේ වැඩි පිරිසකට ඉංග්‍රීසිය ඉගෙන නොගැනීමට හේතුවක් වූ ඉංග්‍රීසියෙන්ම ඉංග්‍රීසි ඉගෙන්වීමේ න්‍යාය කරණ කොටගෙන නමුත් අපොස සා.පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයයට සම්මාන සාමාර්ථයක් (C) ලබා ගැනීමට  නම් සමත් ව තිබුණි. ඉංග්‍රීසියට සම්මාන සාමාර්ථයක් තිබීම ඉංග්‍රීසිය භාවිතා කිරීමට සමර්ථ කමක් ලෙස හුවා නොදැක්විය හැකි බව මා මෙන්ම ඔබද ඉදුරාම දන්නා සත්‍යයකි. බ්ලොග් ලිපියක් මගින් මේ සම්බන්ධව සංසන්දනාත්මක වාර්ථාවක් "මාරයාගේ හෝරාව" ඔස්සේ දක්වා ඇති අතර එම ලිපියේ දැක්වෙන කමෙන්ට් මගින් අපගේ අධ්‍යාපන ක්‍රමයේ සහ දක්ෂතාවය මැන බැලීමේදී ඇතිවන ගැටළු සම්බන්ධව මනාව විස්තර කර ඇති හෙයින් ඒ සම්බන්ධව නැවත සාකච්චා කළ යුතු නැතැයි විශ්වාශ කරමි.

මෙම බ්ලොග් අඩවියෙන්ම ඉදිරිපත් කළ ජනප්‍රිය වූ ලිපියක් වන "ජංගම දුරකථනය ක්‍රියාත්මක වන ස්ථානය ගූගල් මැප් ඔස්සේ සජීවීව දැකගන්න" යන ලිපිය මගින් මා විස්තර කලේ ජංගම දුරකථනයක ස්ථාපිත කළ ජාවා ක්‍රම ලේඛණයක් මගින් ජංගම දුරකථනය ක්‍රියාත්මක වන ස්ථානය ගූගල් මැප්ස් ඔස්සේ ගැන ගත හැකි ක්‍රම වේදයක් සම්බන්ධවයි. Source Forge වෙබ් අඩවිය ඔස්සේ මෙහි ජාවා කේත සටහන් මුදාහැර තිබූ නමුදු අන්තර්ජාලයෙන් හැරෙන්නට ජාවා හදාරා නොමැති මා හට එම කේත සටහන් අව්ශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීම තරමක ප්‍රහේලිකාවක් විය. එනමුදු මෙම මෘදුකාංගයේ ඇති ප්‍රයෝජනවත් භාවය නිසාම කෙසේ හෝ මෙය යථාර්ථයක් බවට පත් කරගත යුතුය යන්න මාගේ  පරමාර්ථයද විය.අදාල කේත සටහන් නිර්මාණය කර තිබූ Nick Fox මහතාගේ බ්ලොග් අඩවිය  අකුරක් නෑර කියවා එහි ඇති කරුණු ඔස්සේ මෙම ක්‍රමලේඛණය මා හට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමට උත්සාහ කළ නමුදු යම් යම් කරුණු සම්බන්ධයෙන් ඒ මහතාගෙන්ම අසා දැන ගත යුතු යැයි මා හට ඒත්තු ගොස් තිබුණු නමුත් ඒ වනවිට ඉංග්‍රීසිය කියවා යාන්තම් තේරුම් ගැනීමට පමණක් පුරුදු වී සිටි මට කමෙන්ට් එකක් හරහා උවමනා දෙය අසන්නේ කෙසේද යන ගැටළුවවක් විය.

අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කමෙන්ට් සටහන් 100 කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඉංග්‍රීසියට ඇති ලැජ්ජාව සහ භය යන දෙකම පසෙක ලා මා විසින් ඉදිරිපත් කළ පළමු ඉංග්‍රීසි කමෙන්ටුව 2010 සැප්තැම්බර් 22 වැනිදා ඉතා කෙටියෙන් ඉදිරිපත් කළෙමි.

Hi Nick,
I installed your apps on Blackberry 8310 & Nokia E71 & received same error from both,
gps.java.lang.nullpointerexception
what is the reason?

එදිනම ඔහුගෙන් ලද පිළිතුරෙන් අසා තිබුනේ ජාවා භාෂාවට අදාල කරුණු කිහිපයකි,

Kenny
What line did that happen on and in what class? Can you run the phone in the debugger and put breakpoint somewhere?


කෙටියෙන් ප්‍රශ්ණය විසදාගත නොහැකි හෙයින් දිග විස්තරයක් සහිතව කමෙන්ටුවක් දැමිය යුතු විය. ඉතා අමාරුවෙන් වචන ගලපා මා එම ගැටළුව වඩාත් විස්තර කලේ මෙසේය. මෙය දකින  විට ඉංග්‍රීසිය අමු අමුවේ මරා දමා ඇති බව ඔබට වැටහෙනු ඇත.

Thanking you Nick for quick replying,
This Apps runs in NetBeans 6.5 without error. when I try run it from my mobiles app initializing perfectly. I can change setting also. then it will ask from me to use my air time &  when I give the permission it says “Maps updating in every 02 minuets” . after 02 minutes it gives that error.
gps.java.lang.nullpointerexception=0
I think that this is due to cant get gps coords from my phone. but these phones show maps with google.maps & some others same kind of apps. is their any ways to handle,
locationProvider == null situation,
best regards,
Kenny"

කැඩිච්ච ඉංග්‍රීසිය ගැන තැකීමක් නොකළ Nick ගේ පිළිතුර වූයේ,


You need to try and debug on the phone to see where it’s failing. Here is an OLD article on how to do that:
http://blogs.sun.com/delabassee/entry/on_device_debugging
You may need to google more on that. It has been *years* since I have used netbeans. I use eclipse now. But if that doesn’t work, then you need to do a lot of logging to the screen to see where it’s failing. Kind of like doing printf statements, printing out variables and where you are in the program flow. You should be able to narrow down exactly what line the error is occurring on.
Nick

මෙයට අදාල හේතුව සොයා ගැනීමට හැකි වූ අතර එය නික් හටද දැන්වීමට මා කටයුතු කලේ මෙය ඉදිරියේදී වෙනත් අයකුටද වැදහත් වේ යැයි සිතූ නිසාය,

HI Nick,
I got the reason for this error. i have set trapped gps latitude & longitude within every 01 minute. it says lat=0.0 lng=0.0. It seems to GPS device denied sends it’s results to gpstracker. whats next. is their any authentication issues? sometime phone’s os may think gpstracker as a virus or same kind of apps.

නික්ගේ පිළිතුර වූයේ මා භාවිතා කරන දුරකථන සමාගම විසින් දුරකථනයේ තිබෙන ජී.පී.එස් උපාංගය බ්ලොක් කරන්නට හැකි බවයි. එහෙත් සැබවින්ම මෙම බ්ලොක් කිරීම කරනු ලබන්නේ දුරකථනයේ පාලක මෘදුකාංගය මගිනුයි. (Blackberry OS/ Symbion OS/ Android) කෙසේ නමුත් ආසන්න පිළිතුර නික්ගෙන් ලැබිණි.

Kenny
There is a very good chance that your provider may be blocking gps to developers. Fro instance, Sprint, here in the U.S. will not allow developers access to gps on their cdma cell phones unless they become a Sprint partner for $5,000. Hard to believe but true… I have a test for you. Go read this article and install and run the very short gps application on your phone:
http://developers.sun.com/mobility/apis/articles/location/
If it doesn’t get gps, it could mean that it’s being blocked.
Who is your cell phone provider?
Nick

නික්ගෙන් ලැබුණු ඉහත පණිවිඩය ආධාරයෙන් අදාල ජාව කේතය මා හට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමට හැකියාව ලැබුණු අතරම එහි එක් පිටපතක් ඉහතින් සදහන් කළ ලිපිය ඔස්සේම ඔබ වෙත ඉදිරිපත් කරන්නටද හැකියාව ලැබිනි. ( කෙසේවෙතත් මෑතකදී සිදු කරනු ලැබූ සර්වර් වෙනස් කිරීමක් හේතුවෙන් මෙම මෘදුකාංගය වර්ථමානයේ අක්‍රීයව පවතී. ඉදිරියේදී යථා තත්වයට පත්වනු ඇත.)

ඉංග්‍රීසි මෙන්ම Java, PHP, MySql, CSS, Joomla, phpbb  ඇතුළු බොහොමයක් දේ ගැන යාන්තමින් හෝ ඉගෙනගැනීමට ඉවහල් වූයේ අන්තර්ජාලයම වන අතර ඔබට මේ කිසිවක් කෙරෙහි උනන්දුවක් හෝ ආසාවක් නැත්තේ නම් අඩුම තරමින් විකිපීඩියාව ඔස්සේ යම් දෙයක් පරිශීලනය කළද ඉංග්‍රීසිය සරලවම මෙල්ල කර ගැනීමට හැකි වනවා නොඅනුමානය.

මේ ලිපිය අවසාන කරන්නට මත්තෙන් ඉතා කුඩා සිදුවීමක් ඔබ හමුවේ තබන්නම්. එක්තරා විශ්ව විද්‍යාලයක් මගින් ක්‍රියාත්මක කරනු ලැබූ පූර්ණ කාලීන දින 28ක පුහුණුවක් සදහා මාද කැදවා තිබුනා. සියල්ල ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළ යුතු වූවා. මෙයට සහභාගී  වූ ආරක්ෂක අංශ නිළදරුවෙකුට තමන්ව හදුන්වා දීමේදී කිව හැකි වූයේ "I am x. I am working as  a  ......" යන්න පමණයි. අදාල වැඩ සටහන මෙහෙයවූ මහාචාර්යතුමා ඉතාමත් කාරුණික නිසාම භාෂාව නිසා සිදුවන ගැටලුව හදුනාගනිමින් පාඨමාලාව භාෂාවන් දෙකෙන්ම පැවැත්වූවා. නමුත් ඔහු සැමවිටම උනන්දු කලා ඉංග්‍රීසියෙන් වැඩ කිරීමට, ව්‍යාපෘති වාර්ථා සියල්ලම ඉංග්‍රීසියෙන් කළ යුතු වූවා. කෙසේ හෝ අදාල පාඨමාලාවෙන් අනතුරුව ඒකාබද්ධ වැඩ සටහනක් යටතේ අදාල නිළධාරියාද ඇතුළුව අප කණ්ඩායම වසර 03ක් පමණ එකට සේවය කලා. සටන් පෙරමුනේදී තුවාළ ලබන තෙක් වනගත ප්‍රදේශ වල සේවය කරතිබූ එම නිළධාරියා අන්තර්ජාලය හදුනාගත්තේත් 2007 වසරේදී. එයින් වසර 03ක් ඇතුළත අන්තර්ජාලයෙන්ම ඉංග්‍රීසි ඉගෙනගත් එම නිළධාරියා අන් අයටත් Grammar කියාදෙන්නට තරම් සමතෙක් වූවා. අවසානයේදී එක්සත් ජාතීන්ගේ සාම හමුදා වැඩ සටහනක් හා සම්බන්ධ වීමට ඉල්ලුම් කළ එම නිළධාරීයා විදේශිකයන් විසින් පවත්වන ලබන Language Proficiency කඩඉම් පවා මනාව තරණය කර පසුගියදා එක් අවුරුදු ගැටුම් නිරීක්ෂණ වැඩ සටහනකට සහභාගීවීමට  වරම් ලැබුවා.

යම් දවසක ඔබටත් ඉංග්‍රීසිය අත්‍යාවශ්‍ය වනු ඇත. නමුත් මාගේ පණිවිඩය වන්නේ ඒ දවස උදාවෙන තෙක් නොසිට දැන්ම මේ දැන්ම ඒ සදහා ප්‍රථම පියවර තබන ලෙසයි. ඔබට එය කළ හැකියි!!